Skip to content

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සුද්ද කළයුතුය!

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව යනු රටේ ජනතාවට අතිශය සමීප මෙන්ම අත්‍යවශ්‍ය ආයතනයකි. එසේ වුවද එය නාමිකව පමණක් රජයේ ආයතනයක් බවට පත් කරමින් එහි බොහෝ කටයුතු පුද්ගලික අංශයට පවරාදීමට යෑම සම්බන්ධයෙන් ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ දැඩි කතා බහක් ඇතිවී තිබේ. එම නිසා රටේ සාමාන්‍ය ජනතාවට විශාල වියදමක් හා වැඩි ගාස්තුවක් ගෙවන්නට සිදුවන අතර රටේ මුදල් පුද්ගලික අංශය හරහා විදේශ රටවලට පොම්ප කිරීම සිදුවේ.

මේ යටතේ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප‍්‍රධාන කාර්යාලයේ බිම් මහල එසේ පුද්ගලික අංශයට පවරන ලද කටයුතු සඳහා පුද්ගලික සමාගමකට ලබා දෙන්නට මේ වන විට තීරණය කර ඇති අතර එහි ඇති එම දෙපාර්තමේන්තුවේ විවිධ ශාඛා වෙනත් ස්ථාන වලට ගෙන යන බව සඳහන්ය. මේ තුළ එහි සේවය ලබන රටේ සමස්ත ජනතාවත් එහි සේවක සේවිකාවනුත් දැඩි අපහසුතාවන්ට ලක්වන අතර සේවකයන්ගේ රැකියාවන් ද දැඩි අනාරක්ෂිත තත්වයකට පත්කර තිබේ.

අනෙක් අතට රජය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක මෙතෙක් දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විශාල ආදායමක් රජයට හිමි කර දුන් කාර්යයන් පුද්ගලික අංශයට පැවරීම කිසි ලෙසකින් සිදු නොකළ යුතු බව අපගේ අදහසයි.

පසුගිය කාලය පුරා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ටෙන්ඩර් ක‍්‍රියාවලින් බහුතරයක් අතිශය අක්‍රමිකතාවයන්ගෙන් විය. රුපියල් සියයකට රජයට මිලදී ගැනීම හෝ නිෂ්පාදනය කළ හැකි රියැදුරු බලපත‍්‍රය රුපියල් 1600 බැගින් 2009 සිට මේ දක්වා ලබාගැනීම නිසා රටට සිදුවූ පාඩුව අති විශාලය.

එසේම 2016 දී එම ක‍්‍රමය මුළුමනින්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවට එනම් රජයට හිමිවිය යුතුව තිබුණ ද එය මේ දක්වා ලබා නොගැනීම නිසා එතැන් සිට රියැදුරු බලපත‍්‍රයෙන් පමණක් මාසයකට රජයට අහිමි වන මුදල රුපියල් මිලියන සියයකි. මේ දක්වා එය රජයට ලබා නොගැනීම පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවේදී පවා ප‍්‍රශ්න කරන ලදි.

රියැදුරු බලපත් නිෂ්පාදන ක‍්‍රමවේදය රජයට අයිතිය තිබිය යුතු වුවද එය රජයට පවරා ගැනීම සඳහා කිසිදු දෙයක් සිදු නොකළ මෝටර් රථ ප‍්‍රවාහන නිලධාරීහු එය යළිත් වරක් විදේශීය සමාගමකට ලබාදෙන්නට යළිත් අක්‍රමිකතාවයන්ගෙන් යුත් ටෙන්ඩර් ක‍්‍රියාවලියක් ආරම්භ කර තිබේ.

අංක තහඩු ටෙන්ඩරය වසර විස්සක් පමණ තිස්සේ එකම සමාගමක් මගින් සිදු කරන අතර පසුගියදා යලිත් ටෙන්ඩරයක් කැඳවා එය නැවත ලබාදීම සඳහා නිර්දේශ කර ඇත්තේ ද එම සමාගම ද ඇතුළුව එකම අධ්‍යක්ෂවරුන් සිටින නම් දෙකකින් පෙනී සිටින සමාගම් දෙකකටය.

මෙය රජයේ ආයතනයකින් සිදුකරන ලෙස පාර්ලිමේන්තු කෝප් කමිටුවෙන් නියෝග කර තිබූ අතර එය රජයේ ජර්මානු අභ්‍යාස ආයතනය මගින් හෝ රජයේ කර්මාන්ත ශාලාව හරහා කළ හැකිව තිබියදී එය පුද්ගලික අංශයට පවරා විශාල විදේශ විනිමයක් වැය කිරීම පසුපස ඇත්තේ අක්‍රමිකතාවයන්ගෙන් පිරුණු ටෙන්ඩර් ක‍්‍රියාවලියකි.

ඊ මෝටරින් ටෙන්ඩරය එවැනිම දූෂිත වූ ක‍්‍රියාවලියක් වූ අතර එහි මිල ගණන් පවා කලින් පිටකර තිබූ බවට චෝදනා තිබේ.

මෑතකදී අක්‍රමිකතා  සඳහාම රජයේ පරිගණක නියෝජිත ආයතනයකින් ගෙන්වන ලද වීර සුරයකු විසින් මේ බොහෝ කටයුතු සිදු කර තිබේ. මොහු මේ සූර වීර කටයුතු නිසාම වරක් අගමැති කාර්යාලයෙන් පවා සේවයෙන් ඉවත් කළ අයෙකි. මේ වීර සූරයා අදාළ ටෙන්ඩර් කිහිපයක්ම අතරතුර විවිධ සමාගම් කීපයකින් විදේශ සංචාර කීපයක්ද එම සමාගම් සමග සිදුකර තිබේ. අඩුම මිල ගණන් ඉදිරිපත් කරමින් ඉහළ තාක්ෂණය ලබාදෙන සමාගම් මුල්වටයෙන්ම ඉවත් කිරීම හරහා මොහු සියලූ අක්‍රමිකතා ක‍්‍රියාකාරකම්වල නිරතවී තිබේ.

කෙසේ වෙතත් මේ වන විට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව අයත් වන්නේ ප‍්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග යටතටය. ඔහුට මේ සියලූ ධීන ක‍්‍රියා නවතා දමා යළිත් ඒවා නිවැරදි කරන්නට හැකියාව තිබේ. එහෙත් 1996 දී ලෝක කුසලානය දිනා ගත්තාටත් වඩා වැඩි මහන්සියක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා වංචා නවතාලන්නට අර්ජුන ට දරන්නට සිදුවනු ඇත.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ උපාධිධාරීන් තුන් සියයක් පමණ සිටිති. එම දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවකයෝ තවත් දෙසීයක් පමණ සිටිති. රටපුරා සේවය කරන සේවකයන්ද එකතු කළ විට සමස්ත සේවක පිරිස අටසියයක් පමණ වනු ඇත. මේ සියලූ දෙනා දෙපාර්තමේන්තුවේ සේවා සඳහා හොඳින් පුහුණු වූ පිරිස්ය. එවැනි පුහුණු සේවක පිරිසක් සිටියදී මේ සියලූ කටයුතු රජය මගින් සිදුකර ඒවායේ සමස්ත ආදායම රජය විසින් ලබා ගත යුතු බව අපගේ අදහසයි.

වර්තමානයේ එම දෙපාර්තමේන්තුවේ සිදුවන මේ  ක‍්‍රියාවලීන් සඳහා අර්ජුන රණතුංග ඇමැතිවරයාගේ සම්බන්ධතාවක් නැතත් දැන් ඇමැතිවරයා ඔහු බැවින් ඔහුගේ පාලන කාලය තුළ මෙවැනි දේ සිදුවීම රටට ජාතියට හිතැති ඔහු වැනි ඇමැතිවරයකුට සුදුසු නැත. එබැවින් මේ පාපකාරී වංචාකාරී අක්‍රමිකතාවයන්ගෙන් පිරුණු  ක‍්‍රියාවලිය නතර කර වහාම මේ සියලූ කටයුතු රජයේ ආයතන හරහා සිදු කරන ක‍්‍රියාවලියක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ ඇති කිරීමේ අද දවසේ වගකීම ඇත්තේ අර්ජුනටය. එහෙත් ප‍්‍රවේශම් විය යුතුය. ඒ ඔහුගේ දෙපා ළඟ වැඳ වැටී ඔහුව රැවටිය හැකි නිලධාරීන් බොහෝ දෙනෙකු එහි සිටින නිසාය. මේ දූෂිතයන් සම්බන්ධයෙන් නිසි පියවර ගෙන අර්ජුනට මේ රාජ්‍ය ආයතනය රැකගත හැකි නම් එය 1996 ලෝක කුසලානය ජයග‍්‍රහණය කිරීම හා සමාන තවත් උදාරතර මෙහෙයක් වනු ඇත.

උපුටාගැනීම: http://aperata.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *