Skip to content

ලංකාවට සැහැල්ලු දුම්රිය

මාලබේ සිට කොළඹ කොටුව දක්වා ඉදිවෙන මෙම නව දුම්රිය සේවාවේ මුලික වැඩකටයුතු දැනට අවසන් කර තිබෙන අතර ඉඩම් පවරාගැනීමෙන් පසු එහි ඉදිකිරිම 2020 වසරේ ආරම්භවීමට නියමිතය.

කිලෝමීටර 16 ක දිගින් හා නැවතුම් පොළ 16 කින් සමන්විත වන සේ ඉදි කෙරෙන මෙම දුම්රිය සේවාව, මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් යාමට හැකි වනසේ ඉදිකිරීමට යෝජිතය.

කාර්ය බහුල වේලාවලදී සෑම මිනිත්තු 4 කට වරක් ද අනෙක් වේලාවලදී මිනිත්තු 10 කට වරක් ද නැවතුම් පොළකට දුම්රියක් පැමිණෙන ආකාරයට මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිත මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා ආයතනය ය.

105063531_78c8143d-827a-4547-a1eb-22466b6d9e2d

සම්පුර්ණයෙන්ම කොන්ක්‍රීට් කුළුණු සහ වානේ කදම්බ වලින් නිර්මාණයවී ඇති වේදිකාවක් මතින් මෙම දුම්රිය සේවාව ගමන් කිරීමට නියමිතය. එසේම, දුම්රිය මාර්ගය බොහෝ අවස්ථාවල ප්‍රධාන මහා මාර්ගයට ඉහළින් ගමන් කරන බව එහි ව්‍යපෘති වාර්තාවේ සඳහන් වේ.

උපායමාර්ගික වැදගත් ස්ථානයන් වන කොටුව, පුරහල, ජාතික රෝහල, බොරැල්ල මෙන්ම බොහෝ රාජ්‍ය ආයතන පිහිටුවා ඇති සෙත්සිරිපාය, බත්තරමුල්ල සහ මාලබේ යන ප්‍රදේශ මෙම දුම්රිය මාර්ගය මගින් සම්බන්ධ කරනු ලැබේ.

  1. කොටුව
  2. ප්‍රවාහන මධ්‍යස්ථානය
  3. කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය අසල
  4. ජාතික රෝහල අසළ
  5. බොරැල්ල
  6. කොටා පාර
  7. රාජගිරිය
  8. වැලිකඩ
  9. සෙත්සිරිපාය
  10. බත්තරමුල්ල
  11. පාලම් තුන
  12. රොබට් ගුණවර්ධන මාවත
  13. ලුම්බිණි පන්සල
  14. තලාහේන
  15. මාලබේ
  16. මාලබේ තාක්ෂණ උද්‍යානය

බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකට අනුව කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවන විශාලතම ආයෝජනය මෙම සැහැල්ලු දුම්රිය පද්ධති පිළිබඳ ව්‍යාපෘතිය වේ.

යෝජිත සැහැල්ලු දුම්රිය

“මේ ව්‍යාපෘති කිව්වහම සමහරු හිතනවා කණු ටිකක් ගහල රේල් පාරක් දාලා මේක අවුරුද්දෙන් දෙකෙන් මැජික් බලයෙන් වගේ කරන්න පුළුවන් කියලා. මෙවැනි විශාල ව්‍යාපෘතියක් සිදු කරන්න ඉතාම අමාරුයි. බ්‍රිතාන්‍යයන් ලංකාවේ දුම්රිය සේවය පිළිබඳ අදහස ඇති කර ගත්තේ 1830 දී. යතාර්ථයක් වූනේ 1860 දී,” අමාත්‍යවරයා මෙම නව දුම්රිය සේවාව ගැන අදහස් දක්වමින් කියා සිටියේය.

“අපි වසර 20 ක් සැලසුම් කළා පොල්ගහවෙල සිට පානදුරට විදුලි දුම්රිය ඇති කරන්න. එය පොතපතේ තිබුණා මිස කෙරුනේ නැහැ. අපි සතුටු වෙනවා වසර 2 ක් ඇතුළත එයට වඩා සම්පූර්ණයෙන් ම වෙනස්, සිවිල්, යාන්ත්‍රික, විදුලි ඉංජිනේරුමය ක්‍රියාවලියක් වූ මේ සැහැල්ලු දුම්රිය පද්ධති පිළිබඳ ක්‍රියාවලිය මේ මහ පොළවේ ක්‍රියාත්මක කරන්න,” ඔහු කියා සිටියේය.

මෙම ව්‍යාපෘතියේ අවසන් ගිවිසුම් පසුගිය නොවැම්බර් මාසයේ අත්සන් තැබීමට නියමිතව තිබුණත් පසුගිය වසර අවසානයේ ඇතිවූ දේශපාලන අර්බුදය හේතුවෙන් එය අතපසුවූ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

Sources: BBC | UDA

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *