Skip to content

සූර්යබල සංග්‍රාමය

  • ශ්‍රී ලංකාවේ බලශක්ති වෙළඳාම ඉතා දුෂිත සහ පවුල් කිහිපයකට පමණක් අයත්!
  • විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් ගෙදරට එවන්න රුපියල් 22ක් වැය කරන්නේ මේ පවුල් හය විසින්, නිලධාරීන් සහ දේශපාලකයන් එකතුව දාන ඩීල් නිසා.
  • “සූර්යබල සංග්‍රාමය” පවුල් හයකට අයිති වී තිබූ බලශක්ති ව්‍යාපාරය විදුලි පාරිබෝගිකයන් මිලියනයකට විවෘත කළා.
  • බදුගෙවන කුඩා ව්‍යවසායකයන් 20,000 ක් සහ, ඉදිරි අරමුණු ඇති තවත් මිලියනයක් පමණ මේ පසුපස ඉන්නවා. රැකියා දස දහසක් දැනට නිර්මාණය කරලා තියෙනවා.
  • අකාර්යක්ෂම වැඩිමිලට හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා මේ නවබලශක්ති ප්‍රජාව විශාල බාධාවක් වෙලා

ලෝකයේ ඉතාමත්ම ලාබ උපයන ව්‍යාපාර අතර බලශක්ති ව්‍යාපාරය ඉදිරීයෙන්ම සිටිනවා. ශ්‍රී ලංකාවේ බලශක්ති වෙළඳාම ඉතා දුෂිත සහ පවුල් කිහිපයකට පමණක් අයත් , කෙටියෙන්ම කියතොත් පවුල් හයකින් පමණක් සීමාවුණු බිස්නස් එකක්.

මේ පවුල් වලට අයත් සමාගම් විසින් දේශපාලඥයන් සහ ඉහල නිලධාරීන් ලවා තමාගේ අභිමතාර්ථයන් ඉටුකර ගන්න හොඳ දක්ෂතාවයක් දක්වනවා. ඇත්තම කියනවනම් මෙම පවුල් වලට කැබිනට් තීරණ පවා තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කරවා ගන්න බව බලශක්ති කර්මාන්තයටනම් නොරහසක්. අද ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් ඔබගේ ගෙදරට එවන්න රුපියල් 22ක් වැය කරන්නේ මේ පවුල් හය විසින්, නිලධාරීන් සහ දේශපාලන අධිකාරීත්වය සමඟ එකතුව කරන සංචාලනය හැසිරවීම් නිසායි.

මේ අතර සූර්යබල සංග්‍රාමය වැඩසටහන දියත් වෙන්නෙ 2016 දී හිටපු විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතාගේ සහ විදුලිබල අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතාගේ මුලිකත්වයෙන්. මුලදී “සූර්යබල සංග්‍රාමය” නමට සිනහ වුනත් , එය අදටනම් හොඳම නම බවට පත්වෙලා. ඇත්තටම දැන් හිතෙනවා මේ වැඩ සටහනට සුදුසුම නම “සූර්යබල මහා සංග්‍රාමය” කියලා.

මේ වැඩසටහන පවුල් හයකට අයිති වී තිබූ බලශක්ති ව්‍යාපාරය විදුලි පාරිබෝගිකයන් මිලියනයකට විවෘත කළා. විදුලිබලශක්ති ව්‍යාපාරයේ නිලධාරී සහ දේශපාලන අධිකාරය බිඳ දමනු ලැබුවා. දැනට මෙම ව්‍යාපාරයේ කුඩා ව්‍යවසායකයන් 20,000ක් බිහිවෙලා තිබෙනවා. ඔවුන් අඩුමිලට රටට විදුලිය සපයනවා.

මුල් අවුරුදු හත (7) සඳහා විදුලි ඒකකයකට රු. 22ක් සහ අවසන් අවුරුදු දහතුන (13) සඳහා රු. 15.50 ක්. ඇත්තටම අපි ලංකාවේ සාමාන්‍ය උද්දමනය සමඟ (5%) සැසඳූ විට පළමු අවුරුදු හත ගෙවුණු පසු විදුලිබල මණ්ඩලයට සහ ලාංකික ජනතාවට විදුලිය සූර්යබල විදුලිය ලැබෙන්නේ රු. 11.07 ක් වැනි අඩුවෙන් දැනෙන මිලකට.

shelter

සූර්යබල සංග්‍රාමයේ මේ පවුල් හයට , නිලධාරීන්ට සහ දේශපාලන අධිකාරීන්ට ඇති දෙයක් නැහැ. මේක ඈත්තටම ජනතාවගේ ව්‍යාපාරයක් වෙලා ඉවරයි. තමාට අවශ්‍ය විදුලිය පවුල් 20,000ක් තමන්ම අඩුමුදලට නිෂ්පාදනය කරනවා.

ඒ මදිවට සූර්යබල සංග්‍රාමය අධියර දෙක යටතේ පොළොව මත සවිකරන සූර්ය බලාගාර සඳහා ටෙන්ඩර ක්‍රමය හඳුන්වා දුන්නා. මෙයින් දුෂිතව සිදුවෙමින් තිබුණු අත යටින් සූර්ය බලාගාරවලට ලයිසන් දෙන එකටත් වැදුනා. දැන් ඉතුරු වෙලා තිබෙන එකම වංචනික විධිය පර්යේෂණ සඳහායැයි කියමින් නො යෙකුත් තාක්ෂණ ඇතුලෙන් රිංගා විදුලිබල පනත වැරදි ලෙස අර්ථකතනය කර ප්‍රධානය කෙරෙන ලයිසන් ක්‍රමය විතරයි.

ඒ මදිවට සුර්යබලය අඩුවට ලබා දෙන නිසා තාප බලයටත් තර්ජනයක් වෙලා. දශකයන් දෙකක් පමණ ඉතා ලබදායිව කරගෙන ආපු ඩීසල් බලාගාර ඉදිරි වසර 10 ඇතුලත අවශ්‍ය නොවේවි. පසුගිය ආණ්ඩු වෙනස් වීමත් සමඟ අලුත් අමාත්‍යවරයෙක් එනවා. ඉතිරිව ඇති මාස කිහිපයට නව ප්‍රතිපත්තිත් එනවා. පොලොව මත සවිකෙරෙන සූර්යබල ටෙන්ඩර් වෙනුවට ආපසු දුෂිතව තිබූ පරණ ක්‍රමයම යෝජනා වෙනවා. පියස්මත සවිකරන සුර්යබල ජනනය අධෙර්ය කෙරෙන මිල ගණන් යෝජනා වෙනවා. ඒ වුනාට පර්යේෂණයයි කියා අත යටින් සුර්යබල ලයිසන් නිකුත් වෙනවා.

ඒ අතරේ වැඩිමිලට හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා විදුලිබල නැවු එනවා. මේ නැවුවලින් විදුලිය දෙනවැයි කියන්නේ රු. 26 ක් වැනි මිලකට. ඒ වුනාට ධාරිතාවය සඳහා වැඩිපුර ගෙවන ගාන ගැන කිසිවක් කියන්නේ නැහැ. ඒ වගේම ඔවුන් දැවිතෙල් ආනයනයේදී කිසිම බද්දක් ගෙවන්නේ නැහැ. නැව නැංගුරම් දානවට ගෙවන parking fee එකවත් ගෙවන්නේ නැහැ. සම්පුර්ණයෙන් අදායම් බදු වලින් නිදහස්. ඒ වගේම සියලු අපද්‍රවය වල වගකීම ලංකා විදුලිබල මණ්ඩලය බලා ගන්න ඕන.

අපට තව අවුරුදු පහකට, සූර්ය විදුලියට වඩා අඩුමිලකට විදුලිය නැහැ. සුර්යබලය නැවතුවොත් මේ නැවට වැඩිකල් ඉන්න පුළුවන්. මේ කට්ටියට වැස්ස නවත්තන්න පුලුවන්නම්, නැව තියාගන්න එකත් කරයි. සූර්ය බල සංග්‍රාමය, ජනතාවගේ මහා සංග්‍රාමයක් වෙමින් පවතින්නේ මේ නිසයි.

රජයට බදුගෙවන කුඩා ව්‍යවසායකයන් 20,000 ක් සහ, ඉදිරියට මෙම කර්මාන්තයේ ආයෝජනය කිරීමට අරමුණු ඇති තවත් මිලියනයක් පමණ මේ පසුපස ඉන්නවා. මොවුන් රැකියා දස දහසක් දැනට නිර්මාණය කරලා තියෙනවා. සවිකිරීමේ 260ක් ක් බිහිකරලා තියෙනවා.

සමහර සවි කිරීමේ ආයතන තාක්ෂණය අපනයනය කරමින් විදේශ විනිමය පවා මෙරටට ගෙන එමින් සිටිනවා. මේ සියලු සුර්යබල ව්‍යාපාරය නිසා ඇතිවුණු සියලු ප්‍රගතීන් දේශපාලඥයන්, නිලධාරීන් සහ පවුල් කිහිපයක් සඳහා අප නැතිකර ගත යුතුද යන වග මේ මහා සංග්‍රාමයේදී තීරණය වනු ඇති.

Written by: First Energy (Pvt) Ltd – 2019 ජුනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *