Skip to content

විදුලි රථ – වාසි අවාසි

වාසි අවාසි කලින් කලට එක් එක් රටවල් සඳහා වෙනස් වුවත්, එය ලාංකික දැක්මකින් කෙරුණු විග්‍රහයක් මේ. කතෘ ලලිත් කරුණාරත්න.

වාහන විදුළි කරණය වීම පරිසර හේතුන් සඳහා පමණක් වන දෙයක් නොවේ. සම්පූර්ණ ෆොසිල ඉන්ධන සහ හයිබ්‍රිඩ් වාහන වල සංකීර්ණතාවය හේතුවත් මෙයට එක් හේතුවක් වේ. ලංකාවේ නම් මෙයට දිය හැකි හොඳම උදාහරණය, ‘වැගන් ආර්’ වාහනය වේ. ලාභයට නඩත්තු කල හැකිවාක් මෙන් පෙනෙන එම කුඩා වාහනයේ සංවේදකයක් [Sensor] පවා අඩ පණ වී එය මාරු කරන්නට ගිය ඇත්තෝ ඒ බැව් හොඳින් දනිති.

ලෝකය පුරාම වාහන විදුළි කරණය සඳහා ප්‍රවනතාවයක් ඇති වී තිබේ. එක එක කාල සීමාවන් තුල ඒ විදුළි වාහන ප්‍රතිශතය එම රටක ධාවනය සඳහා තිබිය යුතු යයි අවධාරණය වේ. චීනය මේ සඳහා මූලිකත්වය ගන්නා රටකි. 2018 වසරේ එම සීමාව ජයග්‍රාහීව ඉටු කළේය. එනම් 8% ක් වාහන ‘නව ශක්ති’ හෝ ‘ශුන්‍ය විමෝචක’ [ “new energy” or zero emission] වාහන විය යුතුය යන සීමාව චීනය ගෙන ආවේය.

මේ ප්‍රවණයතාවය රටවල් වල පමණක් නොව වාහන සමාගම්ද අවබෝධ කර ගෙන ඇත. ස්වීඩන සමාගමක් වූ ‘වොල්වෝ’ සමාගම, වාහන නිෂ්පාදනයේ පෙරළියක් ඇති කිරීමට තීරණය කර ඇත. එනම් 2019 වසරේ සිට එමගින් නිෂ්පාදනය කෙරෙන සියළු වාහන විදුළි වාහන බවත් එසේ නැත්නම් අඩුම ගණනේ හයිබිඩ් වාහනවත් වන බව ඔවුන් ප්‍රකාශ කර ඇත. 2025 වසර වන විට ඔවුන් විදුළි වාහන මිලියනයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් තනා ඇත.

මේ කුමන ආකාරයේ වාහන සමාගමක් වුවද, කිසියම් වාහනයක් සම්පූර්ණ ෆොසිල ඉන්ධන වලින් ක්‍රියාත්මක වුවද, විදුළි ක්‍රම වැඩි වැඩියෙන් භාවිතා වීම සිදු වේ.

උදාහරණයක් ගනිමු. මින් දශකයකට පමණ පෙර සුක්කානම හෙවත් ස්ටියරින් වීල් එකේ සිට, රෝද සඳහා තිබුණු සම්බන්දය හුදෙක් කාර්මික සම්බන්දයක් පමණක් විය. ස්ටියරින් වීල් එක, රෝද සවි වී ඇති, ‘රැක් ඇන්ඩ් පීනියන්’ ඇටවුමට කෙලින්ම සම්බන්ද වී තිබිණ. අද දින එය කෙමෙන් කෙමෙන් වෙනස් වී යයි. සංවේදක සහ බහු විධ පාලක පද්ධති මගින් එය වෙනස් වන බව පෙනේ.

සංවේදකයක් මගින් ස්ටියරින් වීලය හැරවී ඇති කෝණය මනිනු ලැබේ. එම කෝණයේ අගය වාහනයේ සන්නිවේදන පද්ධතිය වෙත යවනු ලැබේ. තවත් පාලක පද්ධතියක් මගින්,එම අගය රෝදය හැරවිය යුතු ප්‍රමාණය තීරණය කරයි. එම පාලක පද්ධතිය, වාහනයේ හැරවීම හා සම්බන්ද මධ්‍යම පරිගණක ඒකකය අනුව ක්‍රියාත්මක වී, වාහනයේ වේගය සහ අනෙක් පරාමිතික ගැනද සලකා අවසානයේ රෝදය හැරවීම කරයි.

මේ ආකාරයටම අළුතෙන් නිෂ්පාදනය වන බොහෝ වාහන වල ඇක්සලේටරයේ ප්‍රමාණය අඩු වැඩි කිරීමට පැරණි වාහන වල මෙන් කම්බියක් නැත. එයද කෙරෙන්නේ විදුළි පරිපථ, සංවේදක මෝටර් සහ පරිඝනක ආධාරයෙනි. මේ ක්‍රම වලට, ‘drive-by-wire’ ක්‍රම යයි කියනු ලැබේ.

එන්න එන්නම වාහන විදුළි කරණය වීමේ සීඝ්‍රතාවය වැඩි වේ. එය නිෂ්පාදනය කිරීම පහසුය, තවද මේ පාලන ක්‍රම පරිගණක පද්ධති වලට සවි වී ඇති නිසා දෝෂයක් ඇති වුනු අවස්ථාවක වාහනය සහ මගීන්ට වැඩි ආරක්ෂාවක් ගෙන දේ. කෙසේ හෝ වාහනයක බලය සැපයීමේ විදුළි මෝටරයක් සහ බැටරි පද්ධතියක් තිබීම හෙවත්, එම වාහනය සම්පූර්ණයෙන්ම විදුළි වාහනයක් වීමේ සැලසුම් ඉතා ප්‍රගතිශීලී බව පෙනුණද ප්‍රායෝගික වශයෙන් අත් දැකීමට වන දෑ වෙනස්ය.

ෆොසිල ඉන්ධන වලින් වාහනයක් ධාවනය වීමේදී එයට පෙට්‍රල් පිරවීමට යන කාලය උපරිමයක් සේ විනාඩි දහයක් පමණ වනවා ඇත. ඉන් පසු එයින් කිලෝ මීටර් 300 – 450ක් පමණ ධාවනය කල හැක. එහෙත් සාපේක්ෂව ඉක්මනින් විදුළි වාහනයක් ආරෝපණය කර ගැනීමට නොහැක. වේගයෙන් ආරෝපණය කෙරෙන ආරෝපිත ස්ථානයක වුවද සම්පූර්ණයෙන් විදුලි වාහනයක් ආරෝපණය කිරීමට අඩුම වශයෙන් පැයක් වත් යන්නේය. හවස් වරුවක වැඩ ඇරී එනවිට, මේ වාහන සියල්ල ආරෝපිත ස්ථාන කරා ලංවුවහොත් කුමක් වේද?

සිදුවිය හැකි එක දෙයක් නම් එම වාහන වලින් පාරවල් අවහිර වීමය. අනෙක් දේ නම්, දවසේ කිසියම් වෙලාවක ජාතික පද්ධතියට විශාල භාරයක් දරන්නට සිදු වීමය. විදුළි වාහනයක් ආරෝපණය කිරීමට සාපේක්ෂ වශයෙන් විශාල විදුළි බල ශක්තියක් අවශ්‍ය වේ.

ආරෝපණය ලෙහෙසියෙන් කරගත හැකි ගරාජයක් ඇති නිවාසයක ජීවත් වීමේ භාග්‍යය නගරයක සිටින්නන්ට සැමවිටම නැත. මේ නිසා රජයක් මගින් ඒ පහසුකම් ලබාදිය යුතුව ඇත. උදාහරණයක් සේ එංගලන්තය ගනිමු. බලාපොරොත්තු වූ ආකාරයට විදුළි වාහන වෙළඳාම් වීමේ සීඝ්‍රතාවය 2019 වසරේ මුල් භාගයේ එංගලන්තයේ සිදුවූයේ නැත. එයට හේතුව වූයේ අවශ්‍ය තරම් ආරෝපිත ස්ථාන එංගලන්තයේද නොමැති වීමය. ඒ සඳහා පසුව එංගලන්ත රජය ක්‍රියාත්මක වී, තවත් වාහන ආරෝපිත ස්ථාන 1000 ක් ස්ථාපිත කිරීමට යන්නේය.

මේ සැම දෙයින්ම පෙනෙන කාරණාවල සාරාංශයක් ගතහොත් එය මෙසේ වේ යයි අනුමාන කල හැක.

  1. පරිසර හේතුන් නිසා විදුළි වාහනවලට අනුවර්තනය වීම.
  2. ආර්ථික හේතුන් නිසා විදුළි වාහන වලට අනුවර්තනය වීම. [මේ හේතුව පරිසර හේතුවට වඩා ප්‍රබල වේ යයි ආර්ථික විශේෂඥයෝ අනුමාන කරති. සාපේක්ෂ වශයෙන් විදුළි වාහනයක නඩත්තුව ලාභ වේ.]
  3. පහසුවෙන් ළඟා විය හැකි ආරෝපණ පහසුකම් ඇති කිරීම. උදාහරණ සේ තට්ටු නිවාස, මහල් පද්ධතියක වාහන රථ ගාලේම හෝ කෙනෙක් සේවය කරන ආයතනයක රථ ගාලේම වාහන ආරෝපණ ස්ථාන ඇති කිරීම.
  4. ජාතික විදුළි බල පද්ධතියේ බල ශක්තිය පරිගණක ආධාරයෙන් සමබර කිරීම සහ වාහනයක ඇති බැටරියේ බලය ඒ ඒ අවශ්‍ය අවස්ථාවන්හිදී ජාතික පද්ධතියට සම්බන්ද කිරීම. [Smart grid]

මේ 4 වන අවස්ථාව ඉතා වැදගත් දෙයක් බව පෙනේ. උදාහරණයක් සේ, එංගලන්තය විදුළි වාහන මිලියන 30ක කඩඉම පසු කල වහාම, එම වාහන ස්මාර්ට් පද්ධතියක් මගින් ජාතික විදුළි බල පද්ධතියට සම්බන්ද කර තිබේ නම්, රටේ ඇති පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවද භාවිතා කර එංගලන්තය සම්පූර්ණ ශුන්‍ය විමෝචන තත්වයට පත් කල හැකි බවට අනාවැකි පවසා ඇත.

අද දින මේ ගැන දියුණු රටවල් වල බොහෝ පරීක්ෂණ කෙරේ. වැඩිවන විදුළි වාහන ප්‍රමාණය අනුව ඒ දැනුම ලංකාවටත් කෙමෙන් ගෙන ඒම වැදගත් වේ. විදුළි වාහන ක්ෂේත්‍රය කෙරේ බළධාරීන් විශේෂ උනන්දුවකින් බැලීම වැදගත් වන්නේ, අනාගතයේ ෆොසිල ඉන්ධන මිළ පහත වැටීම නිසා ෆොසිල ඉන්ධන වෙළඳාම පාඩු වීම හේතුවෙන් ඇතිවන සංකීර්ණතා පිළිබඳ ප්‍රශ්න වැඩිවිය හැකි හෙයිණි.

EV rev දැක්ම

ලලිත් කරුණාරත්න මහතා ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සහ ප්‍රවාහනයේ සුනීත්ය බව වෙනුවෙන් පෙනී ඉන්නේ බොහෝ කලක සිට. අප මේ කරුණු සමග එකඟ වන අතරම එතුමාට අපගේ ප්‍රණාමය.

ආර්ථික වාසිය විදුලි රියක ප්‍රදානම වාසියක්, විශ්ෂයෙන් ලංකාවේ. මෙය ධාවනයේදී පමණක් නොවෙයි සම්පූර්ණ හිමිකාරත්වයටම බලපානවා, ක්ෂයවීමේ අගයේ සිට මුදලේ වටිනාකම දක්වාම. ඒ කොහොමද කියල දැනගන්න තව කියවන්න. https://evrev.lk/2019/08/22/%e0%b7%83%e0%b7%99%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%91%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *