Skip to content

සුළං (දුම්) රිය

කැනඩාවේ කැල්ගරි නගරයේ ඇති C-Train light-rail system යන දුම්රිය පද්ධතියට, ඒ නගරයේ ජනතාව ආදරය කරති. එය ඒ තරම්ම කාර්යක්‍ෂම වේ. 2017 වසරේ මේ දුම්රිය සේවාව ගමන් වාර මිලියන 102 ක් සමාප්ත කර ඇත. එක දුම්රියක 600 දෙනෙක්ට ගමන් කල හැකි නිසා බොහෝ මෝටර් රථ එමගින් පාරෙන් ඉවත් කර ඇත.

තවත් එහි ඇති විශේෂයක් වන්නේ එය 100% ක් ම පුනර්ජනනීය බලයෙන් ක්‍රියාත්මක වීමය.

හුළං වලින් මේ දුම්රිය දුවනවා කිව්වාට ඇත්තටම වන්නේ, සුළං මෝල් වලින් ලැබෙන විදුළිය ජාතික පද්ධතියට ලැබී ඒ විදුළි බලයෙන් මේ දුම්රිය ක්‍රියාත්මක වීමය. සුළං මෝල් දොළහකින් ලැබෙන විදුළි බලය මේ දුම්රිය පද්ධතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් වේ. ඒ ප්‍රමාණය මෙගාවොට් පැය 21,000 කි. කාබන් ඩයොක්සයිඩ් ටොන් 56,000 ක් වායු ගෝලයට මුක්ත වීම මේ නිසා වැළකේ.

දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම මේ සුළං බලයෙන් ක්‍රියාත්මක වුවද, කැල්ගරි නගරයට බලය සැපයෙන අනෙක් ප්‍රභව වන්නේ සුළං මෙන්ම ජල විදුළිය, කාබනික ද්‍රව්‍ය දහනය සහ සූර්ය බලය සේ වේ. එසේ ලැබෙන බලයෙන් ගොඩනැගිළි සහ නිවාස 65,000 ක් පණ ගැන්වේ. ඉන් එක් විශේෂ ස්ථානයක් වන්නේ පින්තුරයේ ඇති කැල්ගරි නගරයේ ඇති ‘නගර සභා ගොඩනැගිල්ල’ වේ. ලංකාවේ අගනුවර නගර සභාවේ වහලයේ සූර්ය කෝෂ තිබේ යයි නොසිතමි. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන්න නගර සභාව දැන් ගැනීම වටී.

කැනඩාවේ තවමත් වැඩියෙන්ම බල ශක්තිය ලැබෙන්නේ ගල් අඟුරු දැවීමෙනි.කෙසේ වුවද, ඉහත කී පුනර්ජනනීය බලය ලබා ගැනීමට වැය වන මිළ ගල් අඟුරු වලට වඩා කෙමෙන් අඩුවීම පරිසරය විෂයේ ජයග්‍රහණයකි. එනම් සුළං බලයෙන් නම් කිලෝ වොට් එකක් සඳහා කැනේඩියානු ඩොලර් ශත 3.7ක් ද ගල් අඟුරු වලින් ලැබෙන කිලෝ වොට් එකකට එය ශත 7.7 ක්ද වේ.

කැල්ගරි දුම්රිය සේවයට අයත් දුම්රිය ස්ථාන 46ක්ද කිලෝ මීටර් 118 ක රේල් පාරද මේ ජනතාව ඔවුන්ගේ ගමන් බිමන් සඳහා භාවිතා කරන ප්‍රදේශය වේ.

මේ අතර කැල්ගරි නගරයේ ඩීසල් වලින් දිවෙන බස් රථ කෙමෙන් විදුළි බස් රථ වලින් ඉවත්වීමත් විශේෂයකි. විදුළි බස් රථයක බැටරිය අවුරුදු 12ක් පමණ කිසිම ආකාරයේ නඩත්තුවක් නොමැතිව භාවිතා කිරීමට හැකි වීමත්, එය නැවත ඉවත් කිරීම සරළ කාර්යයක් වීමත්, ඉවත් කල බැටරිය ප්‍රතිචක්‍රීය කිරීමට පෙර තවත් වසර කීපයක් බල ශක්ති ගබඩාවක් සේ භාවිතා කිරීමට හැකිවීමත් පරිසරයට යෝග්‍ය වීමත් එහි ඇති වාසි වේ.

එසේ දෙවන වතාවට අඩු ධාරිතාවකින් භාවිතා කරන විට බැටරියේ ජීවන කාලය තවත් වැඩිය. ඩීසල් බසයකට සාපේක්ෂව විදුළි බස් රථයකට යන නඩත්තු මුදළ 70% කින් අඩු වේ.

නමුත් ෆොසිල ඉන්ධන වලින් දිවෙන බසයක එන්ජිම ගියර් පද්ධතිය මෙතරම් කාලයක් භාවිතා කල නොහැක. එසේ භාවිතා කළහොත්, සාපේක්ෂව ඒ සඳහා වියදම් වන මිළ ඉතා වැඩිය. විදුළි බස් රියක් ආරෝපණය සඳහා පැය 5 ක් පමණ අවශ්‍ය වුවද, දැන් කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ මේ බස් රථ යන මාර්ගයේ ඉහළින් ඇති විදුළි රැහැන් වලින් ඒවා ක්‍රියාත්මක වන අවස්ථාවේම ආරෝපණය කිරීම ආරම්භ කර ඇත.

විදුළි බස් රථ වල භාවිතා කරන ලිතියම් අයන් බැටරි පරිසරයට හානිකරය කීම තව දුරටත් කැනඩාවට වලංගු නැත. ඔවුන්ට කිසිම ආකාරයක පරිසර හානියක් නොවන සේ ඒවා ප්‍රතිචක්‍රීය කිරීමට හැක.කැනඩාවේ විදුළි බස් භාවිතය ඔවුන්ට ඉතා ප්‍රයෝජනවත් වන තවත් හේතුවක් තිබේ. එය නම්, එහි ඇති අධික ශීතල වේ. ඩීසල් බස් රථයකට වඩා ශීතල දේශගුණයක විදුළි බස් රථ වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වේ. එහෙත් බැටරි වලින් මේ ශීත කාලයේ බසය ඇතුළත උණුසුම් කිරීමට බල ශක්තිය ගැනීම හේතුවෙන්, එම බස් රථ ධාවනය කල හැකි දුර තරමක් අඩුවේ. තවත් වාසියක් වන්නේ, මේ විදුළි බස් රථ වල රෝදවලට බලය බෙදා හැරීම මෝටර් කිහිපයකින් සිදුවීම හේතුවෙන් ඩීසල් බස් රථයක් මෙන් හිම මත ලිස්සීම සහ එරීම සිදු නොවීමය.

විදුළි බස් රියක ඇති තවත් විශේෂත්වයක් නම් ඒවායේ ඇති අඩු ශබ්දය වේ. විදුළි බස් රථයක් ඩීසල් බස් රථයකට වඩා ඩෙසිබල් 10-15 ප්‍රමාණයක හඬ අඩුවේ. ලංකාවේ ඇති විදුළි මෝටර් රථයක ඔබ ගමන් කර ඇත්තේ නම් එහි පැහැදිළිව ශබ්දයේ අඩුවක් ඇති බව අවබෝධ කර ගන්නට ඇත. [ඩෙසිබල් යනු ශබ්දය මනින එකකයකි. උදාහරණයක් සේ මිනිසෙක්ට නැගිය හැකි උපරිම ශබ්දය ඩෙසිබල් 100ක් පමණ වේ. ]

මේ ආකාරයේ විදුළි බස් රථ සමූහයක් මිනිසුන් ගෙන යාමේදී එය , ටෙස්ලා විදුළි මෝටර් රථ එපමණ මිනිසුන් සංඛ්‍යාවක් ගෙන යෑමට වඩා පරිසරයට හිතකර බව සොයා ගෙන ඇත.ජර්මනියත් දුම්රිය විෂයේ මේ පුනර්ජනනීය කඩ ඉම 2024 වසරේ ලබාගන්නවා ඇත. ඔවුන්ද ඒ දුම්රිය සේවය සඳහා බල ශක්තිය ලබා ගන්නේ සුළං වලිනි. හෙටක් නැතිවාක් මෙන් ජර්මනියේ වේගයෙන් ඉදි වන සුළං මෝල් මේ සඳහා සාධක වේ. ජර්මනියේ නම් තවත් විශේෂයක් ඇත. එනම් ඔවුන්ද ඔවුන්ගේ බල ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් ගල් අඟුරු බලාගාර වලින් ලබා ගත්තද, ඒ බලාගාර සමඟ දුම්රිය සේවය වැනි බල ශක්තිය අවශ්‍ය වන ආයතන එම සේවා කොන්තරාත්තු නැවත අලුත් කිරීමක් නොකිරීමය. එවිට ඒ බළාගාර ඉබේම වැසී යයි.

හැකි ඉක්මනින්, එහෙත් ස්ථාවරව ගල් අඟුරු බලාගාර වලින් ඉවත් වීම ජර්මානුන්ගේ බලාපොරොත්තුව වේ. විදුලි වාහන සමඟ අත්වැල් බැඳ ගෙන යන සූර්ය සහ සුළන් බල ශක්තිය කැනඩාවේ සහ ජර්මනියේ බල ශක්ති සහ ප්‍රවාහන ඉලක්කය වී තිබේ.

Author : Lalith Karunaratne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *