Skip to content

පාපැදි ගැටුම්

අදත් (26 Feb 25) පාපැදිකරුවෙක් පාරේ අවසන් ගමන් ගිහින්. අප එදිනෙදා පැද්දට අනිත් අයට පාපැදි පදින්න කියන්නැත්තේ පාපැදිය ලංකාවේ මාර්ගවල ආරක්ෂිත නැති නිසා.

මම පෙනී හිටින්නේ ආරක්ෂිත පාපැදි මං තීරු වෙනුවෙන්. එය ලෝකයේ සෑම දියුණු රටක්ම සංවර්ධනය වීමට අවශ්‍ය මූලික ක්‍රමවේදයක් ලෙස පිළිඅරගෙන ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා. නමුත් ලංකාවේ ඒ ගැන මෙලෝ උනන්දුවක් නෑ, බොරුවට කතාව විතරයි.

මේ භයානක තත්ත්වයට පාපැදිකරුවන් පවා වගකිවයුතුයි. ඔවුන් රජයට බල කරන්නේ නෑ ආරක්ෂිත මන්තීරු ඉල්ලලා. කොහෙන් හරි දාගෙන යනවා මිසක්!

පාපැදිකරුවන්ටත් විශේෂ වගකීමක් තියෙනවා පාරේ මාර්ග නීති වලට අනුගත වෙන්න, පොලිසියට ගන්න ලයිසන් එකක් නැති පලියට මාර්ග නීති කඩන්න බෑ.

හැබැයි පාරේ වම් තීරුව තිබිය යුතුයි පාපැදි වලට. ඒක ලෝකයේ කොහෙත් වෙන දෙයක්. නමුත් ඒකෙත් අපේ ගරුතර බුද්ධිමත් වාහන අයිතිකරුවන් සහ ත්‍රීවීල් පාක් කරනවා.

ඒ වගේම පාපැදියට දිය යුතු ප්‍රමුඛතාවය දෙන්න කවුරුවත් ලෑස්ති නෑ. ඒ අය කල්පනා කරන්නේ නෑ පාපැදියකින් ගමනක් යන කෙනෙක් කරන්නේ තව වාහනයක් පාරට දාලා කරන පාරේ තදබදය වැඩි කිරීම අවම කිරීම බව.

එදිනෙදා ගමන් යන සහ තරගවලට පදින හෝ පුහුණු වෙන පාපැදිකරුවන් ලෙස වර්ග දෙකක්. මේ අවස්ථාවේදී නම් ක්ලීට්ස් හේතු විය හැකිව තිබුණා නමුත් හරියට දන්නෑ. ඒවා අපේ පාරවල භාවිතයට සුදුසු නෑ, තරගයකදී හැර.

පොලිසියේ දත්ත අරගෙන බැලුවත් ප්‍රතිශතයක් ලෙස පාරේ වැඩිපුරම මැරිලා තියෙන්නේ පාපැදිකරුවන්. තරඟ වලට පැදපු අයට වඩා එදිනෙදා ගමන් ගිය අය.

මේක අතිභයානක තත්වයක් නමුත් හැම රජයක්ම පාපැදිකරුවන්ට විශේෂිත මන් තීරු ඉදිකරනවා කිව්වට ඒවා කටේ නරිවාදම් විතරයි. ඒවා බොහොම ලාභයට ලේසියෙන් කරන්න පුළුවන් දේවල් හරි සැලසුම් තියෙනවා නම් මේ ආණ්ඩුවත් ඒවා කිව්වා කොටින්ම අයවැය කතාවේදී පවා කිව්වා නමුත් ඒ වෙනුවෙන් මුදල් වෙන් කරලා නෑ.

මේවට මූලික හේතුව රටේ ප්‍රතිපත්තිමය අවුල. අඩු ගානේ දියුණු රටවල් දිහා බලලාවත් අපි ඉගෙනගන්න ලෑස්ති නෑ, ප්‍රවාහන ප්‍රතිපත්ති හදන්න ලෑස්ති නෑ, බොරුවට ප්‍රොජෙක්ට් ගහනවා සෝබන කතා කියනවා විතරයි.

මිය ගිය තැනැත්තා ගැන කණගාටුයි. මේ දවසකට පාරේ මැරෙන දහයෙන් එකක්. නමුත් මේ මරණ වලින් වත් කිසිදු පාඩමක් මේ රටේ පාලකයන් දේශපාලකයන් නිලධාරීන් හෝ මහජනතාව ඉගෙන ගන්න පාටක් නෑ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *