Skip to content

විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු

Q. ඇයි විදුලි වාහනයක් මම ගත යුත්තේ?

A. හේතු විශාල ප්‍රමාණයක්, මේ ප්‍රධාන කිහිපයක්.

1. ආර්ථිකයට හොඳයි එදිනෙදා පාවිච්චියේදී. කිලෝමීටරයක ධාවන වියදම රුපියල් දෙකකට අඩුයි, සූර්ය බලශක්ති නැතිවුනත්, තියනවානම් වියදම බින්දුවයි. 

2. නැවත විකුණුම් වටිනාකම සමාන ඉන්ධන වාහන වලට වඩා වැඩියි. ඒ කොහොමද කියල මෙහි කියවෙනවා.

3. ඔබේ පුද්ගලික කාබන් පාදය අවම කරනවා, ගෝලීය උණුසුම අඩුකරනවා.

4. රටේ විදේශ විනිමය හානිය අවම කරනවා, විශේෂයෙන්ම ඉන්ධන ආනයන වියදම.

5. ගෙවන මුදලට වැඩි වටිනාකමක් ලැබෙනවා, සමාන ඉන්ධන වාහනයක් ගැනීමේදී ඔබ ගෙවන මුදලේ තුනෙන් එකයි බොහෝවිට වාහනයේ වටිනාකම. විදුලි රථයක බදු ඉතා අවමයි.

6. ධාවනයේදී ලැබෙන පහසුව සහ ත්වරණය ඉතා වැඩියි.

7. ටැංකිය පිරවීම ගෙදරදීම කිරීමේ පහසුව

8. අවම ගෙවීම් සහ නඩත්තුව, අවම වියදමෙන්

9. විදුලි රථවල සැප පහසුව සහ ආරක්ෂාව සමාන ඉන්ධන රථවලට වඩා බෙහෙවින් වැඩියි.

Q. නමුත් නැවත විකිණුම් මිල 2013 – 14 ආපු නිසාන් ලීෆ් වල අඩුයි නේද?

A. බැලූ බැල්මට එහෙම පේනවා. නමුත් අපි නැවත විකිණුම් වටිනාකම ගණනය කරන ක්‍රමයේ ප්‍රධාන වැරදි දෙකක් තියනවා. පළමුවෙන්ම අප අමතක කරනවා විදුලි රථය ගත්තේ සමාන ICE රථයකට අඩුවෙන් බව. දෙවැන්න එය මිලදීගත් මිළේ සහ විකුණුම් මිලේ වෙනස විතරක් ලෙස සැලකීම.

මිලදී ගත් මිලට පාවිච්චි කල කාලය තුල කල සියලු වියදම් එකතු කල යුතුයි, ඉන්ධන, නඩත්තු, සේවා, පොලී, මුදලේ අගය යනාදිය. වෙළදාම සඳහා වාහන මිලදීගැනීමේ සහ පාවිච්චියට ගැනීමේ ලාභ සෙවීම ක්‍රම දෙකක්.

මේ ගැන පහල විස්තර කෙරෙනවා , හිතන්න ඔබ පෙට්‍රල් රථයක් කිලෝමීටර් ලක්ෂයක් වසර හතරකින් දිව්වොත් ඉන්ධන වලටම පමණක් මිලියන දෙකකට වඩා වියදම් කරනවා විදුලි රථයකට වැඩිය. මේ ඉතිරිය ඔබේ ලාබයක් විදියට සැලකිය යුතුයි, නැවත වටිනාකම් තීරණය කිරීමේදී.

එපමණක් නෙමෙයි හැම පැත්තෙන්ම ඉතුරුයි, කියවාගෙන යන්න ඉදිරියට.

Q. මේ පිළිබඳව ගණනය කිරීම් කර තිබෙනවාද?

A. ඔව්, දැනට හොඳින්ම අලෙවිවෙන බවට සැලකෙන සමාන තත්වයේ ටොයෝටා ප්‍රියස් සහ ප්‍රමාණයෙන් සහ තත්වයෙන් පහල ඇක්වා සමග වසර පහක් පාවිච්චියේ වියදම්, නිසාන් ලීෆ් සමග. මෙන්න ලින්ක් එක, ඒ කොහොමද කියල විස්තර වෙන ධාවන පිරිවැය සැසඳීම

නැවත විකිණුම් වටිනාකම යනු TCO (Total Cost of Ownership) ආයෝජනය කල මිලෙන් අඩු කිරීමයි, මෙය ප්‍රතිශතයක් ලෙසද සැලකිය හැකියි.

එමෙන්ම ඉහත දැක්වූ කිලෝමීටරයක ධාවන වියදම (CPK) ඔබ ධාවනය කල කිලෝමීටර් ගණනෙන් වැඩිකරද සොයාගත හැකියි. නැවත කිව්වොත් බැලූ බැල්මට ලීෆ් අවප්‍රමාණ වීම වැඩි බව පෙනුනත් සත්‍ය තත්වය එය නොවේ. 

Q. 2019 න් ඉදිරියට මෙම දත්ත අදාළ සහ භාවිත වෙන්නේ කොහොමද?

A. ඒ පිළිබඳවද ගණනය කිරීම් කර තිබෙනවා. නිසාන් ලීෆ් 2018 / 19 වසරේ රථයක් සමග එකම ප්‍රමාණයේ ජනප්‍රිය හොන්ඩා සිවික් 1.0 සහ ටොයෝටා C-HR සැසඳීමෙන්.

අද මිලදීගන්නා රථ, තව වසර පහකින්

තවත් වැදගත් දෙයක්, එකම ප්‍රමාණයේ වුනත් හොන්ඩා සිවික් 1.0 සහ ටොයෝටා C-HR දෙකටම වෙනත් අලෙවි මිල නිසාන් ලීෆ් වලට වඩා අඩුයි. නමුත් ලංකාවේ අපි වැඩිපුර ගෙවනවා!

Q. පරණ මාදිලියේ ලීෆ් වල බැටරි වේගයෙන් ක්ෂය වුනා නේද?

A. මේකත් වැරදි මතයක්, ලංකාවට 2012 සිට 2016 දක්වා නිෂ්පාදිත ZEO සහ AZEO ලීෆ් රථ හාරදහසක් පමණ ආවා. මේවායින් 2013 පෙර නිෂ්පාදිත බැටරි වේගවත්ව ක්ෂයවුනා, වැරදි පුරුදු නිසා විශේෂයෙන්ම.

ඕනෑම බැටරියක් ක්ෂයවෙනවා. දැනට ලෝකේ භාවිත තාක්ෂනය අනුව වසරකට 5% දක්වා ක්ෂයවීමක් අප බලාපොරොත්තු විය යුතු දෙයක්. නමුත් ක්‍රියාකාරී සිසිලන ක්‍රමයක් නැහැයි කියල ලීෆ් බැටරියේ උෂ්ණත්වයට වැරැද්ද පැටෙව්වා මිස විදුලි රථයක් භාවිතයේදී අපට කළහැකිව තිබුණු කිසිම දෙයක් අපි කලේ නැහැ.

අපි මුල් කාලයේදී නියම අන්දමින් ආරෝපණය සහ පාවිච්චිය නිෂ්පාදකයා නියම කල පරිදි විදුලි රථ පාවිච්චි කලේ නැහැ. ජංගම දුරකථන බැටරි ක්‍රමයම තමයි අනුගමනය කලේ.

මේක හොඳටම පැහැදිලියි දැන් දැනුවත් වෙලා ඉන්නා ලීෆ් හිමිකරුවන් බැටරියේ ඉතුරු ප්‍රමාණයෙන් ගන්න ප්‍රයෝජනය වැඩි නිසා. කොහොමද භාවිතය විය යුතු යන්න මෙතනින් දැනගන්න . Use an EV battery for long

ඒවගේම අපට මග හැරුණු තවත් දෙයක් තියනවා. ඒ මුල් වසර කිහිපය (2010 සිට 2013 දකවා) ලීෆ් මෙන්ම වෙනත් විදුලි රථ බැටරි තාක්ෂණයේ මුලම වසරවල්. තාක්ෂනය දියුණුවුණේ භාවිතයේදී ලැබුණු අත්දැකීමුත් එක්ක, අපි ඇත්තටම ගිනිපිග්ල (පරීක්ෂණාගාර මීයෝ) වුනා.

2014 ඉඳන් ඉහලට එන බැටරි ගැන පැමිණිලි නැහැ. 2013 පස්සේ නිෂ්පාදිත ලීෆ් ලංකාවේ කිලෝමීටර් ලක්ෂයකට වඩා ධාවනය වෙලත් 2020 වෙනකොට බැටරි ප්‍රතිශතය 70% දක්වාත් ඉතිරි තියනවා. ඒ වගේම ඒවා තවමත් කිලෝමීටර් ලක්ෂයකට වඩා එක චාජ් එකකින් දිවවෙනවා.

2018 ආපු අලුත් ලීෆ් වල බැටරි ක්ෂයවීම 3% වලටත් වඩා අඩුයි. නව මාදිලියේ ලංකාවේ වැඩියෙන්ම ධාවනය වුනු ZE1 රථය කිලෝමීටර් ලක්ෂයක් දිව්වත් තාම රේන්ජ් එක අඩුවෙලා නැහැ, ලංකාවේ තත්වයන් යටතේත්.

මේ එක උදාහරණයක්, 2013 නිෂ්පාදිත රථයක් 2019 අගෝස්තු මාසයේ.

අමතක කරන්න එපා කිලෝමීටර් ලක්ෂයකට වඩා ධාවනය වූ රථ බොහොමයක් ඇති බව.

Q. ලංකාවේ උෂ්ණත්වය වැඩි නැද්ද EV බැටරියට.

A. ලංකාවටත් වැඩි උණුසුම් ප්‍රදේශවල/රටවල ලීෆ් හොදින් භාවිත වෙනවා. ලංකාවෙත් අවුරුදු හයක් පුරා ලක්ෂ දෙකකට වඩා ධාවනය වූ රථ තියෙනවා, තවමත් බාර් හයක් තියන. මේ ලින්ක් එක බලන්න. අලුත් ලීෆ් එක – රස්නෙම පැතිවල

Q. පරණ ලීෆ් එකට බැටරි නැහැ නේද?

A. ඔව් බැටරි හිගයක් දැනට (2019 වසරේ) තියනවා. ඇත්තටම මේ හිගය මවාපාපු හිඟයක් කිව්වොත් වඩාත් නිවැරදියි. බැටරි අනවශ්‍ය අයත් බැටරි සෙවීම නිසා මිළ ඉහල යාමකුත් වෙලා තියනවා. එමෙන්ම මේ ගැටලුව විදුලි රථ නැවත විකිණුම් මිල කෘතිමව අඩු කිරීමට පාවිච්චි අයත් ඉන්නවා, වාණිජ හේතු මත.

මේ ඒ අයගේ එක strategy එකක්, මේ අය පාවිච්චිකරන තව ක්‍රම තියනවා!
අයිතිකරුවන් බයවීම, බයකිරීම
බැටරි දත්ත වෙනස් කිරීමට පෙළඹවීම
මිල බැස්සවීම, අඩුවෙන් කාර් විකිනවීමට පෙළඹවීම, නව හිමිකරුවන්ට බැටරියකට මිලියනයක් ගෙව්වත් ලාභදායී වීම

Q. ඇයි බැටරි හිඟ, ලංකාවේ නිෂ්පාදනය නොවෙන්නේ?

A. ගෝලීය බැටරි මිල ලංකාවට දරාගත නොහැකිවීම සහ ලංකාවේ ලීෆ් රථ වැඩි ප්‍රමාණයක් නොතිබීම බැටරියක් ව්‍යාපාරිකව නිෂ්පාදනයේ ගැටළු තියෙනවා. මුල් වසරවල ලංකාවට ආපු විදුලි වාහන රජයේ වැරදි බදු ප්‍රතිපත්ති නිසා නැවතීම යටිතල පහසුකම් සහ සේවා පහසුකම් වර්ධනයට විශාල බාධාවක් වුනා. නමුත් අනාගත විසදුම් උදෙසා කිහිප පාර්ශවයක්ම ක්‍රියාත්මකයි.

Q. ධාවන දුර අඩුවීම ප්‍රශ්නයක් නේද?

A. මොකද්ද අපේ ධාවන දුර? ඇමරිකාවේ දිනකට කිලෝමීටර් 32, ඕස්ට්‍රේලියාවේ සහ බ්‍රිතාන්‍යයේ මෙය 30 ටත් අඩුයි. ලංකාවේ දත්ත නැහැ, නමුත් ඇතැම් තැන්වල කියවෙනවා එය දිනකට කිලෝමීටර් 22 බව. කොහොමත් විශාල රටවල් වලත් 35 ට අඩුනම් අපේ ඊට වඩා බෙහෙවින් අඩු විය යුතුයි. එහෙම බැලුවාම කිලෝමීටර් අසූවක රේන්ජ් එකක් මොරටුවේ, ජා ඇල හෝ කොට්ටාවේ සිට කොළඹට රැකියාවට එන කෙනෙකුට දිනකට සෑහෙනවා, ගෙදරින් ආරෝපණය කරලා. ලංකාවේ තියෙන ලීෆ් වලින් 90% මේ තත්වයේ තියෙනවා.

මේක කියවන්න ධාවන දුර අඩුවීම වදයක් වෙලාද?

Q. නරකම තත්වය මොකද්ද, ලංකාවේ?

A. ලීෆ් රථ පනහක් පමණ දැනට ධාවන දුර කිලෝමීටර් පනහට පමණ අඩුවෙලා තියනවා. මේ අයට බැටරි ලැබෙන තුරු කළහැකි දෙකක් තියෙනවා. 

  1. බැටරිය මාරු කිරීම, දැනට හිඟයක් තිබෙනවා, රටේ සහ ලෝකයේ ඇති තද ප්‍රවාහන සහ ආනයන පාලන නීති නිසාත්.
  2. මෙම රථය විකුණා අවශ්‍යතාවට ගැලපෙන රථයක් ගැනීම, මෙය බැටරිය මාරු කිරීමට සමානයි.

තව උත්තර සහ පැහැදිලිකිරීම් සඳහා යන්න EV බැටරිය ක්ෂයවෙලාද?

එමෙන්ම බැටරි ප්‍රශ්නය ගැන අපටම ගතහැකි විසඳුම් මෙතනින් : https://mobility.lk/big-battery-bang/

Q. කල් ගතවෙද්දී බැටරිය කොපමණ ක්ෂය වෙනවාද?

A. සාමාන්‍යයෙන් වසරකට සියයට 5% පමණ ලෙස අනුමාන කලහැකියි. මේ අනුව 2013 වසරේ නිෂ්පාදිත ලීෆ් බැටරියක් දැන් 30% පමණ ක්ෂයවීමක්. බැටරි ක්ෂයවීම මැනෙන SOH දර්ශකය ලංකාවේ හොදින් පවිච්චිවුණු බොහෝ විදුලි රථවල අදටත් (2019) 65% සිට 70% දක්වා තියෙනවා.

ලංකාවේ ලක්ෂයක්, අවුරුදු පහක් තුල, තව රේන්ජ්එක km 130ක් තියනවා (Credit to Teddy)

Q. නව මාදිලියේ ලීෆ් බැටරියේ තත්වය හොදයි, නමුත් එකක් ගන්නකොට මිළ කොහොම වෙයිද?

A. බැටරි තාක්ෂනය ලෝකයේ ඉතාමත් වේගයෙන් දියුණුවෙනවා. මෙතෙක් විදුලි වාහන ICE අභිබැවීමට නොහැකිවීමට හේතුවත් මේ දශකය ආරම්භය තෙක් බැටරි තාක්ෂණයට අවධානය යොමු නොවීමයි. නමුත් දැන් තත්වය වෙනස්. ඉතා අඩු මිලකට කිලෝමීටර් 300 දක්වා යාහැකි විදුලි රථ දැන් තියෙනවා, තාක්ෂනය අධි වේගයෙන් දියුණුවෙනවා.

එමෙන්ම ලෝකයේ බැටරි මිල අඩුවෙගන යනවා, නව තාක්ෂණයත් සමගම. එමනිසා බැටරියක අනාගත මිල දැන් සෙවීම තේරුමක් නැහැ.

Q. මතයක් තියෙනවා විදුලි රථ ධාවනයේදී පරිසර හානියක් නොවුනාට විදුලි නිෂ්පාදනයේදී භාවිත වෙන ඉන්ධන නිසා කියන තරම් වෙනසක් නැති බව.

A. මෙය මිත්‍යාවක්. සම්පුර්ණයෙන්ම ගල් අඟුරු සහ ඉන්ධන මගින් විදුලිය නිපදවුවත් විදුලි රථවල පරිසර හානිය අවමයි. ලංකාවේ ජලවිදුලි ආදී පුනර්ජනනීය බලශක්ති රාත්‍රියට භාවිතාකර ආරෝපනයෙන් මේ තත්වය තව බොහෝ දුරට ලංකාවේ පරිසරයට හිතකාමීයි. තවත් එහාට ගියොත් සූර්ය බලශක්ති භාවිතයේ අගය එකතුකිරීම විමෝචනය ශුන්‍ය කරනවා.

Q. ඕනෑම කෙනෙකුට විදුලි රථ සුදුසුද?

A. නැහැ, වඩාත් සුදුසු වැඩියෙන් ධාවනය කරන අයටයි. ඔබේ මාසික භාවිතාව කිලෝමීටර් දාහට අඩුනම් අලුත් විදුලි රථයක් මිලදී ගැනීම නුසුදුසු විය හැකියි. මොකද ඒවායේ බැටරි ධාරිතාව විශාල නිසා. නමුත් පාවිච්චිකළ විදුලි රථයක් ඉතා හොඳ මිලකට ලබාගත හකිවෙඉ, අඩු ධාවන අවශ්‍යතා සැපිරෙන. මේ කරුණ දීර්ඝව සාකච්චා කෙරුණු පෝස්ට් තිබෙනවා.

Q. මා ගන්න රථයේ රේන්ජ් එක කොපමණ විය යුතුද?

A. හැමවිටම රේන්ජ් එක වැඩිවීම හොඳම නැහැ, ඔබගේ දෛනික අවශ්‍යතාව මෙන් දෙතුන් ගුණයක් තිබීම බොහෝ දෙනෙකුට ඇති. කොටින්ම ඔබේ බැටරියේ මුළු ප්‍රමාණය හැම සතියකම සම්පූර්ණයෙන් භාවිත විය යුතුයි.  ලංකාවේ ගන්න තියෙන විදුලිරත, මිල සහ ධාවන දුර සහ වැඩිදුර විස්තර දැනගන්න, යන්න මෙතනට EV රේන්ජ් එක

වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් / ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා.

අප සුදානම් ඔබගේ අදහස් සහ ගැටළු දැනගන්න, තර්කානුකුල විසදුම් සපයන්න. අපව අමතන්න මෙතනින් පුළුවන්. grow-with-us/

11 thoughts on “විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *