Skip to content

ටිකට් ටෙන්ඩර්!

දුම්රිය ටිකට් ටෙන්ඩරය චීනයට දීම ගැන ලොකු කතා බහක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් අපේ පෙර පෝස්ට් වල අදහස මේ ‍ව්‍යාපෘතියේ අවශ්‍යතාවය, ක්‍රමවේද සහ ක්‍රියාත්මක කරන්නා පිළිබඳ ඇති ගැටලු මතුකර ගැනීම.
යමක් රටට සුබදායී ලෙස වෙනස් කරගත හැකි නම් ඒ වෙනුවෙන් ‍ක්‍රියාත්මක වීමයි ඉලක්කය, විශේෂයෙන්ම සංචලතා (Mobility) කළමනාකරණය අපේ ක්ෂේත්‍රය නිසා.

මේ ව්‍යාපෘතියේ වැරද්දක් නැහැ කියන අයගේ ප්‍රධානම තුරුම්පුව වුනේ පහුගිය වසරේ අග Morning පුවත්පතේ ප්‍රවෘත්තියක්. ඒ මෙම දුම්රිය ටිකට් නිකුත් කිරීමේ ටෙන්ඩරය චීන සමාගමකට පැවරීමට තීරණය වූ බව. ඒකෙ තියන පින්තූරය දුම්රිය ටිකට් පතක් සහ මගී ගේට්ටු.
චීන සමාගම තෝරාගැනීම වෙන්නේ පසුගිය රජය කාලේ කියලා ඉන්ජිනේරුවෝ පවා ඇඟ ගලවා ගන්න හැදුව. ඒ සම්බන්ධයෙන් කැබිනට් තීරණ ගැනෙන්නේ දැන්.

ICTA අධ්‍යක්ෂක වරයෙක් වුන සංජීව වීරවර්ණ මේ වසර මුල ඔහුගේ ඉල්ලා අස්වීමේ සඳහන් කරලා තිබුනා දුම්රිය ටිකට්පත් ටෙන්ඩරයට ඔහුට එකඟ විය නොහැකි බව.
මේ ටෙන්ඩරය සහ අදාල ක්‍රියාදාමය පිළිබඳව මට මතුවෙන ප්‍රශ්න මේ.

  • ලෝකේ දැනට වසර කිහිපයකට පෙර සිටම පාවිච්චි කරන්නේ e tikating ක්‍රමවේද. ටිකට් පත වෙන්නේ ෆෝන් එක. අන්තර්ජාල සම්බන්ධතා ගොඩක් අඩු ඉන්දියාවේ පවා දැන් භාවිත වෙනවා එස්එම්එස් එකක්, අනන්‍යතා සහතිකය සමග භාවිත කළයුතු.
    කඩදාසි රහිත ක්‍රමවලට ලෝකෙම යද්දී අපි ටිකට් යන්ත්‍ර සහ ගේට්ටු වැනි යල්පැනගිය සහ අපේ විවෘත දුම්රිය ස්ථාන වලට නොගැලපෙන ක්‍රම වලට යායුතුද යන්න විශාල ප්‍රශ්නයක්.
පින්තූරෙ ඉන්දීය දුම්රිය සේවයෙන්.
  • ටිකට් නිකුත් කිරීමේ ක්‍රමවේද ජාලගත විය යුතුයි මෙහිදි ඇත්තටම වඩා වැදගත් දෘඩාංග වලට වඩා මෘදුකාංග. එමෙන්ම මේ ටිකට් නිකුත් කිරීම දුම්රිය කාලසටහන් සමග සහසම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම තමයි වඩාත් හොද. මොකද ටිකට් පත වලංගු කාලය අනුව සහ භාවිතා කරන දුම්රිය වේලාව අනුව මිල වෙනස් විය හැකි නිසා, වෙනත් රට වල රෂ් අවර් මිල වැඩියි.
  • දේශීය සමාගම් ඉතාමත් ඉහළ තත්වයක ඉන්නවා මෘදුකාංග අතින් . මේ ටෙන්ඩරයට ලංකාවේ සමාගම් සහභාගි වුණේ නැත්නම් එයට හේතු තිබිය හැකියි. අදාල දෘඩාංග සපයා ගැනීම සුළු දෙයක් අපම නිෂ්පාදනය නොකළත්.
    ඒ කොහොම වෙතත් ලංකාවේ සමාගම් වලට සහභාගි නොවිය හැකි අන්දමින් ටෙන්ඩර් සකස් කිරීමට අපේ රටේ නිලධාරීන් බොහොම දක්ෂයි. ඒ පිළිබඳව මට පෞද්ගලික අත්දැකීම් තියනවා.
  • ටිකට් ගේට්ටු සවිකරන්න කලින් දුම්රිය සහ දුම්රිය ස්ථාන නවීකරණය කලයුතුයි කියා දුම්රිය මගින් කියනව. අවිධිමත් සැකසුම් මගියාට හිරිහැරයක් නොවෙන ලෙස සකස් කලයුතුයි . පිරිසිදුකම , විනය ගරුකවීම ආදී දුර්වලතා මගහරවාගත යුතුය . මගීන්ට වාඩිවීමට ඇති බංකු. දුම්රිය ස්ථාන වල ඇති මූත්‍රා ගඳ. කාර්යාල වල ඇති පුස් ගඳ. මේවා පිලිවෙලක් කරගන්නේ නැතිව ටිකට් ගේට් සවිකිරීමෙන් ඇති පලය කුමක්ද යනුවෙන් ඔවුන් ප්‍රශ්න කරනවා.

මේ ටෙන්ඩරය ඉහත කියැවුණු කරුණුවලට එකඟ නොවෙනවා නම් රජයට විශාල වගකීමක් සහ යුතුකමක් තියෙනවා එය නැවත සලකා බැලීමට හෝ අවලංගු කර නැවත ටෙන්ඩර් කැඳවීමට.

දැනටමත් විශාල වියදමක් දරල තියෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට පවා එහෙම වුණා. මේ ටෙන්ඩරයට එහෙම නොවුන එක ප්‍රශ්නයක්, මෘදුකාංග ක්ෂේත්රයේ විද්වතුන් පවා ප්‍රශ්න කරලා තියෙද්දි.

රටේ මුදල් කාබාසිනියා වුණු මේ වගේ ටෙන්ඩර් ප්‍රවාහන ක්ෂේත්‍රයේ අඩුපාඩුවක් නැතිව තිබුණා. උදාහරණ දෙකක් ස්මාට් රියදුරු බලපත සහ වාහන අංක තහඩු ව්‍යාපාරය.

ටිකට් නිකුත් කිරීම පමණක් නෙමෙයි, දුම්රිය සේවාව සහමුලින්ම නවීකරණය විය යුතුයි.
රටේ පොදු ප්‍රවාහනයෙ දහසකුත් එකක් අඩුපාඩු තිබුනත් එකක් හරි හැදෙනවා නම් හොදයි. නමුත් ඒ සියලු ගැටලු ආවරණය වෙන පරිද්දෙන්, එකවරම නොවුනත් අදාල කාල සීමා දින වකවානු සහිතව, පූර්ණව, අනාගතයට බලපාන අන්දමින් සහ හෙට දවසේ තාක්ෂණයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *