Skip to content

ප්‍රවාහනය, සචලතා සහ නිර්මාණ චින්තන.

ව්‍යාපාරික ආදායම් සහ ලාභ අඩු වීම කොරෝනා එක්ක බැඳුණු ප්‍රධාන ප්‍රශ්ණයක් . ප්‍රාග්ධන වියදම් අපිට යම් කාල සීමාවකට අඩු කරන්න පුළුවන් විශාල බලපෑම් නැතිව. නමුත් මෙහෙයුම් වියදම් වලට, එනම් OPEX වලට ඇතිවන බලපෑම පාලනය අපහසුයි. ඒ මෙහෙයුම් වියදම් පාලනය කරන්න යන එක හරිම සංවේදී දෙයක් නිසා, විශේෂයෙන්ම මෙහෙයුම් වියදම් ආයතනයේ ආදායම් වලට එමෙන්ම ලාභ වලට කෙලින්ම බලපාන නිසා.

ආයතනික වශයෙන් මෙහෙයුම් වියදම් කපා හැරීමේ දී මුලින්ම එන්නේ අලෙවි ප්‍රවාහන පුහුණු, අතිකාල, සේවක සහ වැටුප් ආදි වශයෙන්. මේවා අතිශයින් සංවේදී බව කිවයුතු නැහැ විශේෂයෙන්ම ලංකාව වැනි නීතිරීති මෙන්ම මානුෂීය පැත්තෙන් හිතන ආයතන වැඩි රටක.

වියදමට එරෙහිව ඵලදායීතාව

වසංගත කාලය තුළ ක්‍රියාත්මක වන ඇතැම් ආයතන වල පාලිත තත්වයන් යටතේත් කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය යන දෙකම ඉහළ නැඟුණා. එය අනාගතය සඳහා බොහෝ තැන් වලට ආදර්ශයක් පවා වුණා. නමුත් හැම අවස්ථාවකදීම ඒ ඉලක්ක ළඟා කර ගැනීමට අපහසුයි පෞද්ගලික සහ විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ, අප වැනි රටක ආකල්ප සහ ක්‍රමවේද වෙනස් කිරීම දීර්ඝකාලීන ප්‍රයාම නිසා.

මේ සලකා බැලෙන්නේ මෙහෙයුම් කාර්යක්ෂමතාවට (Operational Excellence) හෝ ඵලදායිතාවට බාධාවක් නොවී ප්‍රවාහන වියදම් ප්‍රශස්තීකරණය (Mobility cost optimization) ගැන, පෞද්ගලික පමණක් නෙමෙයි රාජ්‍ය අංශයට පවා සාර්ථකව භාවිතයට. සේවක ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, පහසුකම් ප්‍රවාහනය මෙන්ම පොදු මගී ප්‍රවාහනය දේශීය ප්‍රවාහන අවශ්‍යතාවන්ගේ ප්‍රධාන අංග විදියට සැලකෙනවා.

වියදම් අවම කරගනිමින් ප්‍රවාහන ඉලක්ක සපුරා ගැනීමේදී ක්‍රියාත්මක විය හැකි වෙනත් ක්‍රම නවීන ලෝකයේ තියෙනවා. දැන් අලුතෙන්ම Design Thinking එහෙම නැත්නම් නිර්මාණ චින්තන ක්‍රමවේද.

Courtesy of Nielsen Norman Group

අපි අහනවා Lateral Thinking ගැන දශක කීපෙක ඉඳලා. එනම් එක ප්‍රශ්නයක් විසදිය හැකි ක්‍රම හෝ තත්ත්වයන් කිහිපයක් තියෙන බව. මේ මූලධර්ම විශේෂයෙන්ම බලපෑවේ නිෂ්පාදන ක්‍රියාවලීන් තුළ වුණත් ඒවා කාලානුරූපව සේවා ආර්ථිකයට එකතු වුණා. සාමාන්‍ය ජීවිතයේ දී අපි out of the box thinking කියලා හිතන ක්‍රමවලට වඩාත් ක්‍රමානුකූල බවක් එක් කරමින්.

නිර්මාණ චින්තනය

දැන් ඒව තවත් ඉස්සරහට ගිහිල්ලා Design thinking ලෙසින් වඩාත් නිර්මාණාත්මක සිතුවිලි, එහෙම නැත්නම් නිර්මාණ චින්තන. ඒවා ඊළඟට විසඳුම් ලෙස ඉදිරිපත් කෙරෙනවා, අදාළ ක්‍රියාදාම සම්පුර්ණ කිරීමෙන් පසු.

ප්‍රවාහන අවශ්‍යතා වලට නිර්මාණ චින්තනය අනුගත කිරීමේදී සේවා දායකයින්ගේ අවශ්‍යතා අපි හඳුන්වනවා mobility needs එහෙම නැත්නම් සචලතා අවශ්‍යතාවන් ලෙස. ඊලග පියවර අවශ්‍යතා සපුරා ගැනීම. අර පැරණි lateral thinking ක්‍රමවේද වලට වඩා සේවය ලබන්නන්ගේ පහසුව සලකමින් වඩාත් නිර්මාණාත්මකව ‍ක්‍රරමවේද සහ ක්‍රියාපටිපාටි සැලකීම තමයි එතනදි වෙන්නෙ.

 

  • Empathize – සේවාව භාවිතාකරන්නන්ගේ අවශ්‍යතාවලට සංවේදීවන්න
  • Define – විශ්ලේෂණය, සේවාදායකයින්ගේ අවශ්‍යතා, ගැටළු, ඔබගේ සහ ආයතනික දැක්ම
  • Ideate – නිර්මාණශීලී වියයුතුයි, විකල්ප සහ අභියෝගාත්මක උපකල්පන සමගින්
  • Prototype – විසඳුම් සලකාබැලීම, ඇත්තේ එක මගක් නොවේ.
  • Test – ක්ෂේත්‍ර පරීක්ෂණ.
  • Implement – නිගමන, පහසුකම් සැපයීම, ක්‍රියාත්මක කිරීම

ප්‍රවාහනය ගැන සැලකුවොත් ප්‍රධාන වශයෙන්ම සැලකෙන්නේ එහි සචලතා අවශ්‍යතාව එනම් the need for mobility. මේ අවශ්‍යතාවය සැපිරීමේදි කලින්ම බැලෙනවා සචලතාව ඇත්තෙන්ම අවශ්‍යද යන්න. දෙවනුව ඒ සචලතාව එහෙම නැත්නම් ප්‍රවාහන අවශ්‍යතාව භෞතික සචලතා එනම් physical movement නැතිව එය සපුරා ගත හැකිද යන්න. එහි ප්‍රායෝගික පැත්ත බැලුවත් මුලින්ම අදාල කාර්යය IoT, දුරස්ථ පාලන ක්‍රම, දුරස්ථ සම්බන්ධතා ආදී දේ විකල්ප ලෙස ඊළඟට සලකා බැලෙනවා.

නමුත් ප්‍රධාන වශයෙන්ම ඒ සිතුවිලි පණ ගැන්විය යුත්තේ design thinking process අනුව. mobility solution provider කෙනෙක් එහෙම නැත්නම් සචලතා විකල්ප විශේෂඥතා ප්‍රරයෝජනයට ගැනෙන්නේ මේ අවස්ථාවලදී.

ඇත්තෙන්ම මේ තත්ත්වයන් ප්‍රවාහනය පමණක් නෙමෙයි රාජ්‍ය හා ආයතනික සියලු අවශ්‍යතාවන්හිදී ප්‍රයෝජනයට ගත හැකි එමෙන්ම ගත යුතු වෙනවා.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ උදාහරණයක් විදිහට පහුගිය දිනවල තර්කයට බඳුන් වුන සැහැල්ලු දුම්රියේ අවශ්‍යතාවය පිළිබඳව සැලකීමේදී මේ Design Thinking process අතිශයින් වැදගත් විය යුතුව තිබුණා. එය ශක්‍යතා අධ්‍යනයට පෙර සිටම හෝ එයත් සමගම සිදුවිය යුතු දෙයක්. නියම ශක්‍යතා අධ්‍යයනයක නිර්මාණශීලී චින්තනය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍යයක්. එහි ව්‍යාපෘති වාර්තාවේ අප දකිනවා යම් සලකා බැලීම්, නමුත් එහිදී නිර්මාණ චින්තන භාවිතය වුනු බවක් දකින්නට නැහැ.

එපමණක් නෙමෙයි දුම්රිය ටිකට් ටෙන්ඩරයේදී පවා අපි සැලකිය යුතු වෙන්නේ මෙය කරන්නේ දේශීය හෝ චීන සමාගමක් ද යන්න සැලකීමට පෙර මගීන්ට, දුම්රිය සේවාවේ ප්‍රගතියට, පොදු ප්‍රවාහනයේ දියුණුවට, රටේ සංවර්ධනයට අවශ්‍ය දේ එයද යන්නයි. එහෙම වුනත්, ඊළඟට ඒ අවශ්‍යතාව සැපිරිය හැකි වෙනත් ක්‍රම ඇත්ද යන්නයි.

රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට සචලතා අවශ්‍යතා සැපිරීමේදී design thinking අතිශයින් වැදගත් වෙනවා. ඒ රාජ්‍ය අංශයට වඩා ව්‍යාපාරික ලාභ වලට අතිශය වැදගත්කමක් ලැබෙන නිසා, එමෙන්ම ආදායම් සහ ලාභ ව්‍යාපාරික පැවැත්මේ ( business sustainability ) අත්‍යාවශ්‍ය සාධකයක් වන නිසා.

ප්‍රවාහන වියදම් වලට මූලික වෙන සචලතා අවශ්‍යතා විශ්ලේෂණයකදී (mobility needs analysis) නිර්මාණ චින්තන සංකල්ප වලට අනුගත වීමෙන් කෙටි කාලීන මෙහෙයුම් වියදම් මෙන්ම දීර්ඝ කාලීන ප්‍රාග්ධන වියදම් පවා අතිශයින් අවම කරගත හැකියි.

_ Mobility Alliance | Reach us via www.mobility.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *