Skip to content

ටෙස්ලා ඒකාබද්ධයක්?

ටෙස්ලා දැන් ලොව වඩාත්ම වටිනා මෝටර් රථ සමාගම. ඒ 2020 ජුනි මාසේ පළමු තැන හිටපු Toyota පසු කරමින්, දැන් විශාල පරතරයක් සමග ඉදිරියෙන්. මේ වෙනකොට ටෙස්ලා වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 548. ටොයොටා ඩොලර් බිලියන 190 සීමාවේ. තුන්වැනි තැන ඉන්න Volkswagen සමාගම ඩොලර් බිලියන 94 යි.

ආයතනයක නිකුත් කළ කොටස් අගය සහ ප්‍රමාණය මත තීරණය වෙන වෙළෙඳපොළ වටිනාකම ආයතනයේ සාර්ථකත්වය මැනීමේ එකම ක්‍රමය නොවුනත් මෙය අතිවිශාල සාධකයක් අනාගත ගමන් මඟ පෙන්වන.

We thank Electrek for the diagram

ඒ අතරම ඇතැම් අය කියනවා ටෙස්ලා එහි වටිනාකමට වැඩිය අගය කෙරිලා තියෙනවා කියල. මේ පිළිබඳව තර්ක කරන්න පුළුවන්. උදාහරණයක් විදියට බැලුවොත් Toyota වටිනාකම තීරණය වෙලා තියෙන්නේ එහි වාර්ෂික ආදායමෙන් සියයට දශම හයක් ලෙස. ටෙස්ලා සමාගම බැලුවොත් එහි වටිනාකම ආදායමෙන් දාහත් ගුණයක් පමණ වෙනවා. එමෙන්ම Tesla මේ වසරේ මිලියන භාගයක් පමණ වාහන විකුණද්දී Toyota මිලියන දහයක් පමණ අලෙවි කරලා තියෙනවා.

නමුත් ආයතනයක සහ කොටස්කරුවන්ගේ ලාභ සහ අනාගත වටිනාකම් තීරණය වෙන්නේ වෙළඳපොල වටිනාකම මත. එමෙන්ම ටෙස්ලා මෝටර් රථ ආයතනයක් මෙන්ම තාක්ෂණ ආයතනයක් ලෙසත් සැලකිය හැකියි තාක්ෂණ ආයතන වල වටිනාකම තීරණය වෙද්දී වටිනාකම තීරණය වෙන්නේ වර්තමාන අගය වගේම අනාගතය මත.

තත්වය මෙහෙම තිබියදී මේ සතියෙ ජර්මනියේ තිබිච්ච සම්මාන උත්සවයකදී එලොන් මස්ක් කිව්වා ඒගොල්ලෝ විවෘතයි කියලා වෙනත් ප්‍රධාන මෝටර් රථ සමාගමක් සමග ඒකාබද්ධ වෙන්නත්.

මේ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩ ඉතාමත් අඩු වුණත් ටෙස්ලා සමාගම දැන් ඉන්න තත්ත්වය අනුව ඔවුන්ට කළ නොහැකි දෙයකුත් නෙමෙයි. මීට පෙර අපට මතකයි ඇපල් සමාගම ටෙස්ලා ඒකාබද්ධ කරගන්න යන බවට කතාවක් පැතිරුණා. නමුත් මස්ක් ඒ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කළා.

තාක්ෂණය අතින් බැලුවත් ලෝකෙ ඉදිරි ගමන දිහා බැලුවත් ටෙස්ලා සමාගමේ අනාගත ප්‍රක්ෂේපණ ඉතාමත් ඉහළයි දෙවන තුන්වන තැන් වල ඉන්න ටොයොටා සහ Volkswagen සමාගම් වල නිෂ්පාදන සහ ආදායම් තත්ව ඉහළ වුණත් අනාගතය ගැන සැලකීමේදී ආයෝජකයන් අතිශය වටිනාකමක් එකතු කරන්නේ ටෙස්ලාට.

අපේ විශ්ලේෂණය

විදේශීය විශ්ලේෂකයන් විවිධ මත පලකලත් අප හිතනවා නිසාන් සමාගම මේ අවස්ථාවට ඉතාම සුදුස්සෙක් කියලා. අනෙකුත් අය අතරින් ජර්මන් සමාගම් බැලුවොත් BMW බොහෝ දුරට පවුලේ අයිතියක්, නමුත් මර්සිඩීස් සමාගමට බොහෝ සුදුසුකම් තියනවා. වොක්ස්වැගන් නම් මෙය සලකා බලන එකක් නැහැ, ඔවුන් ඔවුන්ගේම විදුලි රථ පෙළක් නිෂ්පාදනය කරන නිසා. නමුත් GM සමාගම හොඳ එකතුවක් වෙයි, ඇමරිකානු නිසාත්.

ජපන් සමාගම් සමග අයිතිය හෝ ඒකාබද්ධ වීම ලෙහෙසි නැහැ, ඔවුන්ගේ සම්ප්‍රදායික ක්‍රම නිසා. නමුත් නිසාන් අයිතිය යුරෝපීය රෙනෝල්ට් සමාගමේ, එමෙන්ම ඔවුන් ඉන්නේ යම් ගැටළු මත විශේෂයෙන්ම ආර්ථික අතින්. නමුත් නිසාන් සමග එකාබද්ධයක් ටෙස්ලාට අතිශයින් වාසිදායක නොවුනොත් ඔවුන් සලකා බලන එකක් නැහැ, ටෙස්ලා ඉන්නේ අනාගතය ආක්‍රමණය කිරීමේ ඉහලම වාසිදායක තැනක නිසා. වෙන්න බැරි දෙයක් නෙමෙයි මේ සමාගම් දෙකේම ඉදිරි දැක්ම බලද්දි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *