Skip to content

කාර් ඇයි ගණන්?

ලංකාවෙ කාර් වල ගනන් කිව්වම පිටරට අය අපිට හිනා වෙන්නේ කටෙන් නෙමේ. ආර්ථිකය පහලට වැටෙද්දි හැමෝම හිතුවේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩවල මිල අඩුවීමක් වෙයි කියලා.

නමුත් ආනයන තහනම දික් වෙද්දී ලංකාවෙ වෙළඳපොලේ තිබිච්ච අලුත් සහ ලියාපදිංචි නොකල වාහන වල මිල දිනෙන් දින ඉහළ ගියා.
ඉල්ලුමේ වැඩි වීමක් නැතිව එහෙම වෙන එක අසාමාන්‍යයයි. සාමාන්‍ය ආර්ථික නිර්ණායක අනුව මෙන්ම වසංගතය එක්ක ආපු නව සාමාන්‍යයෙන් ගමනාගමනයට ඇති ඉල්ලුම පවා අඩු කළා.

දුර්වල පොදු ප්‍රවාහනයක් සහිත අපේ රටේ අය වසංගතයෙන් බේරෙන්න වාහන අරං වැඩට යන්න පෙලඹුණා කියලා හිතන්න පුළුවන්. නමුත් මේවා ඔප්පු කරන්න දත්ත නැහැ.

අවශ්‍යතා අඩු වීම

ඒත් එමෙන් කිහිප ගුණයක් ම අපිට තිබුණු වාහන වල අවශ්‍යතාවය නැති වුණා. දීර්ඝ පාසැල් නිවාඩු, ගෙදර සිට වැඩ කිරීමේ පහසුව, බොහෝ හමුවීම්, උත්සව, විනෝද සහ පවුලේ ගමන්බිමන් ආදිය අවලංගු වීම ප්‍රධාන හේතු.

ආයතනික වශයෙන් අති විශාල තීරණ ගැනුනා. රෝස්ටර් වලට වැඩ කරන්න පටන් ගත්තා. බොහෝ සේවකයන්ට ගෙදර ඉඳන් වැඩ කිරීමේ පහසුකම ලැබුණා.

මේ සියල්ලම තාක්ෂණික වශයෙන් බැලුවොත් ගමනාගමනය අඩු කරන හේතු. එතකොට ගමනාගමනය අඩු වෙද්දි ඇයි වාහන වලට ඇති ඉල්ලුම වැඩි වුනේ?

වසංගතය මැදත් වෙන රට වල අලුත් වාහන අලෙවිය වැඩි වුණු අවස්ථා තිබුන. ඒ ඒ වෙළඳපළවල් වලින් යම්කිසි කාලයකට පසු වාහන ඉවත් වෙන නිසා. එමෙන්ම අලුත්වැඩියාව අධික වියදම් සහිත නිසාත්. එමෙන්ම ආර්ථික වර්ධනය වැඩි දියුණු රටවල් පවා තිබුණා. නමුත් ලංකාවේ එහෙම තත්ත්වයක් නෑ.

මුදල් සහ සමාජය

මේ අතරතුර බැංකු පොලී අනුපාත අඩුවීම සහ මිනිස්සුන්ගේ ජීවිතවල අවිනිශ්චිතතාව මත රථ වාහන වල මුදල් ආයෝජනය කරන්න ඇතැමුන් පෙලඹුණා. එමෙන්ම ලංකාව egoistic එනම් සමාජ තත්ත්වය මහ ඉහළින් සලකන රටක්. ඉතින් තියෙන එකට වැඩිය හොඳ වාහනයක්, අල්ලපු ගෙදර කෙනාට වැඩිය හොඳ වාහනයක් ආදී වශයෙන් අවශ්‍යතා අඩු උනත් තමුන්ව ම අප්ග්‍රේඩ් කරගන්න පෙළඹුණා.

මේකෙන් ප්‍රයෝජනය ගත්තා මුලින්ම වාහන වෙළෙන්දන්. නමුත් මේක විශාල වෙළඳපොලක් වෙයි කියලා මුලින් කවුරුත් හිතුවේ නෑ. ඒ වුණත් කලින් භාවිතා නොවූ විශාල මුදල් ප්‍රමාණයක් විශේෂයෙන්ම කලුසල්ලි ප්‍රමාණයක් මේ වෙනකොට වෙළඳපොලේ එකතු වෙමින් තිබුණා. මොකද වාහන ආනයනය කරන වෙළෙන්දන් ගේ අතිවිශාල සංචිත ඒ වෙන කොට මුදල් බවට පත් වෙලා තිබුනේ ලාබත් සමග.

කොහේ තිබ්බ සල්ලිද?

ඔවුන් ඒ මුදල් භාවිතා කරන්න ගත්තා දේශීය වෙළඳපොලේ වාහන මිලදී ගන්න. දැනට වුනත් සියලුම වාහන අලෙවිසැල් වල වාහනවලින් පිරී ගිහින්. එමෙන්ම බොහෝ කාර් වෙළඳාම් වෙන්නේ B2C විදියට නෙමෙයි B2B විදියට. එනම් එක වෙළෙන්දෙක් ගන්නේ සහ විකුණන්නේ තව වෙළෙන්දෙක් ගෙන්, වෙළෙන්දෙකුට වශයෙන්.

ඊළඟට දැන් ලංකාවෙ තියන වාහන වලින් 80% කට වඩා තියෙන්නේ විකුණන්න. ඒ කියන්නේ වාහන හිමියන් ගෙන් පහෙන් හතරක්ම වාහන වෙළෙන්දන් වෙලා. දල වශයෙන් ඇස්තමේන්තු කරන්න පුළුවන් වාහන වලින් අඩක් පමණ තියෙන්නෙත් විවෘත ලියවිලි යටතේ කියලා.

මේ තත්ත්වය බබල් එකක්, මේක පුපුරන්න වාහන ආනයනයට අවසර ලැබෙනකම් ඉන්න වෙන එකක් නෑ. පාවිච්චි කරපු ඇල්ටෝ එකක් ලක්ෂ හතළිහකට, විට්ස් එකක් හැත්තෑවකට, ප්‍රිමියෝ එකක් ලක්ෂ 150කට, vessel එකක් ලක්ෂ සීයකට, ඊ ක්ලාස් එකක් ලක්ෂ දෙසීයකට, ප්‍රාඩෝ එකක් ලක්ෂ තුන්සීයකට වශයෙන් හුවමාරු වෙන්නේ බොහෝවිට වෙළෙන්දන් අතර.

ඉස්සරහට මොකද වෙන්නෙ?

මේ ගණන් දැකලා ට්‍රිගර් වෙලා තීරණ ගන්න වාහන හිමියනුත් ඉන්නවා.
පෞද්ගලික වාහනයක් අයිති කරුවෙකුට වාහනේ වටිනාකමෙන් වැඩක් වෙන්නෙ එය විකුණනවා නම් පමණයි නැත්නම් සමාජ තත්ත්වය පෙන්වීමේ සාධකයක් විදියට. ඒ දෙකොටසටම නැතිව පාවිච්චි කරන වාහනය ඇත්තටම විදින අය ඉන්නේ බොහොම ටික දෙනයි.

කෝටි ගණන් දීලා වාහන අරගෙන වැඩක් නොගෙන පාක් කරල තියල ඇති වැඩේ මොකක්ද කියලා වාහන හිමියෝ කල්පනා කරන දවසක් එනවා. කොහොම කලත් ලංකාවේ වාහන ආයු කාලයෙන් 80% කට වඩා ගෙවෙන්නේ පාක් කරලා තියෙද්දි.

ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියල ඉදිරි ලිපියකින්. දේපල වෙළඳපොළට මේ තත්ත්වය බලපෑවේ නැත්තේ ඇයිද කියන එකත් කතා කලයුතු දෙයක්.
ලංකාවේ වාහන අවශ්‍යතාව ගැන පහල;

1 thought on “කාර් ඇයි ගණන්?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *